Loading...

ලොවක් පුදුම කර අක්‍රීය වූ මොළයකට පණ දුන් වෛද්‍ය හාස්කම මෙන්න



ඇමරිකාවේ නිව්ජර්සි ජනපදයේ එඩිසන් හි පිහිටි ජේඑෆ්කේ ජොන්සන් පුනරුත්ථාපන ආයතනයේ (JFK Johnson Rehabilitation Institute) ප්‍රතිකාර ලබන 38 හැවිරිදි තරුණයා අක්‍රිය මොළයක් සහිත තත්ත්වයේ පසුවෙයි. නම සඳහන් නොකරනු ලබන මෙම තරුණයා මෙබඳු තත්ත්වයකට පත් වූයේ 1999 දී සිදු වූ මංකොල්ලයකදී අපරාධකරුවන් විසින් ඔහුගේ හිසට සිදු කරන ලද ප්‍රහාර නිසා බව හෙළි වේ. ඔහුගේ මොළයට දරුණු තුවාල සිදුවි ඇති නිසා ඔහු සිහිසුන් නොමැති තත්ත්වයක පසුවෙයි. ඔහුට කිසිම ආහාරයක් ගිලීමට නොහැකි නිසා නලයක් මඟින් සිරුරට ආහාර සපයනු ලබයි. ඔහු මෙම තත්ත්වයෙන් වසර හයක් සිටි අන්දම ඔහුගේ මව දරා සිටියේ ඉවසිය නොහැකි වේදනාවකින් හා දුකකිනි.  එහෙත් වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රාතිහාර්යාත්මක ප්‍රතිකාර ක්‍රමයක් නිසා “මගේ දරුවාට ආහාර ගැනීමට පුළුවනි. නිදා ගැනීමට පුළුවනි, නින්දට නොයා දිගටම චිත්‍රපටියක් නැරඹීමට පුළුවනි, යමක් පානය කරන්න පුළුවනි, වේදනාව දැනෙන බව කියන්න පුළුවනි, ඔහුට අඬන්න වගේම සිනහ වෙන්නත් පුළුවනි.” යැයි ඔහුගේ මෑණියන් පැවසුවේ නොනිමි සතුටිනි.

මෙම විප්ලවීය ප්‍රතිකාර ක්‍රමය හඳුන්වනු ලබනුයේ Deep Brain Stimulation (DBS) (මොළයට ඉතා ගැඹුරු වූ උත්තේජක ප්‍රතිකාරය) යනුවෙනි. ඉහතින් දැක්වූ රෝගියා සම්බන්ධයෙන් ඇමරිකාවේ සුප්‍රකට රෝහල් තුනක සේවය කරනු ලබන විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් පිරිසක් විසින් 2005 අගෝස්තුවේදී එම රෝගියා ගේ මව හමු වී අත්හදා බැලීම් තත්ත්වයේ පැවති මෙම විප්ලවීමය DBS ප්‍රතිකාර ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කැමතිදැයි විමසනු ලැබීය. එසේම මෙම ප්‍රතිකාර ක්‍රමය සාර්ථක නොවුණහොත් ඔහු සදාකාලික සිහිසුන් නොමැති තත්ත්වයේම පසුවන බවද අනතුරු හඟවන ලදී.

ඒ අනුව මෙම වෛද්‍යවරුන් විසින් මිලි මිටර් එකක් පමණ පළලැති ඉලෙක්ට්‍රෝඩ දෙකක් ඔහුගේ මොළයේ Thalamus (ග්‍රාහකය) ප්‍රදේශයට ඇතුළු කරනු ලැබූ අතර එය පපු ප්‍රදේශයේ සවිකර ඇති හෘද ස්පන්දන පාලකයට (Pacemaker) සම්බන්ධ කරන ලදී. එම ශල්‍යකර්මය සඳහා පැය 10 ක කාලයක් ගත වී තිබිණ. ඉන්පසුව දින 480 ක් ඔහුගේ මොළයට විද්‍යුත් කම්පන තරංග මඟින් ප්‍රතිකාර කරනු ලැබිය.

මෙහිදී වෛද්‍ය විශේෂඥයින් බලාපොරොත්තු වූයේ එම විද්‍යුත් කම්පන තරංග මඟින් ඇනහිට තිබූ මොළයේ ක්‍රියාකාරීත්වය පණ ගැන්වී මොළයේ පරිපථ ක්‍රියාත්මක වීම සිදුවනු ඇති බවයි.  නේචර් (nature) නමැති සඟරාවේ පළවී තිබූ වාර්තාවලට අනුව එම ප්‍රතිකාර ක්‍රමයෙන් පුදුමාකාර ලෙස සාර්ථක ප්‍රතිඵල ඉතා වේගයෙන් ලැබී තිබිණ.

“ගැඹුරින් කරන ලද මෙම උත්තේජනය නිසා පළමු දිනයේදීම පැවති තත්ත්වයේ වෙනස්කම් දක්නට ලැබුණා.” යැයි මෙම ශල්‍යකර්මය සිදු කළ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළ ස්නායු විශේෂඥ ජෝසප් ගියාසීනෝ ප්‍රකාශ කළේය. මුලින්ම මෙම රෝගියා දෙනෙත් විවර කොට අවට බලා එතැන සිටි අය කරන කටයුතු පරීක්ෂා කරන ආකාරය දක්නට ලැබිණ. පසුව ඔහුට වචන කිහිපයක් කථා කිරීමට හැකි වූ අතර සිරුරේ අවයව සෙලවීමට ද හැකිවිය. මෙහිදී සෑම පැය දොළහකට වරක් ඔහුගේ මොළය උත්තේජනය කිරීම සඳහා අවශ්‍ය උපකරණ සවිකර තිබිණ.

මෙම නව ප්‍රතිකාර ක්‍රමය සාර්ථක වීම ගැන මහත් සේ සතුටට පත් වූයේ ඒ සඳහා ක්‍රියාත්මක වූ වෛද්‍ය විශේෂඥ කණ්ඩායමයි. එහෙත් ඊටත් වඩා ඉමහත් සතුටට පත් වූයේ වසර හයක් තිස්සේ මළ කඳක් බඳු තම පුතු දෙස බලා සුසුම් හෙළු ඔහුගේ මෑණියන්ය.  “මගේ පුතාට දැන් කතාකරන්න පුළුවනි. ඕනෑම දෙයක් බීමට හැකියි. එසේම අඬන්නත්, හිනාවෙන්නත්, පුළුවනි“ යැයි ඇය ඉතාම උද්වේගකර පී‍්‍රතියෙන් උදම් අනුවාය. එදා මෙම DBS ප්‍රතිකාර ක්‍රමය සාර්ථක වීම වෛද්‍යමය ප්‍රතිහාර්යයක් ලෙස සලකනු ලබන අතර වර්තමානයේ එම ප්‍රතිකාර ක්‍රමය පාකින්සන් රෝගය (Parkinson’s disease) හා වෙනත් මානසික ආබාධවලට ප්‍රතිකාර කිරීම සඳහා යොදාගනු ලබයි – රෝහණ ආරියරත්න
ලොවක් පුදුම කර අක්‍රීය වූ මොළයකට පණ දුන් වෛද්‍ය හාස්කම මෙන්න ලොවක් පුදුම කර අක්‍රීය වූ මොළයකට පණ දුන් වෛද්‍ය හාස්කම මෙන්න Reviewed by Anonymous on 2:45:00 PM Rating: 5

No comments:

Powered by Blogger.